Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Sunday, March 26, 2017

අන්ධ විශ්වාසය සහ ආගම් ඇදහීම

අන්ධ විශ්වාසය ගැන පොඩි කතන්දරයක්. මේක අහන්න ලැබුනේ මම පොඩි කාලෙදී පල්ලියෙ ඉරුදින දේශනාවකදි.


ඔන්න එක ගමක හිටියලු දෙවියන් වහන්සේට ඉතා ලැදි, භක්තිමත් මනුස්සයෙක්. එයාගෙ නම තෝමස්.. එයා හැමදාම කිව්වෙ "දෙවියන් වහන්සේට සියල්ල කල හැකියි" කියලයි.
ඔන්න දවසක් හදිසියේම පැමිණි කුණාටුවකින් පසුව මහා ගංවතුර තත්වයක් ඇති වුනා. වතු පිටි, නිවෙස් යට කරගෙන ජල කඳ ඉහල නැගුනා. දිවි රැක ගැනීමට ගම් වැසියන් නිවෙස් වල වහලවල් උඩ රැඳී සිටියා.
සහන සේවා කණ්ඩායම් ක්‍රියාත්මක වූ අතර කුඩා බෝට්ටු වලින් පැමිණි ඔවුන් ගම්වැසියන්ව ආරක්ශිත ස්ථාන වලට ගෙන යද්දී තෝමස්ට ආරාධනා කරා නිවස අතහැර එන්නට.
නමුත් තෝමස් කිව්වෙ දෙවියන් වහන්සේ තමන්ව ගලවාගන්න බව විශ්වාස නිසා ඔවුන්ගේ සහය අනවශ්‍ය බවයි.
ගම්මුන් එකිනෙකා ගම හැර යද්දී ජල කඳ තවත් වැඩි වුනා. නාවික හමුදා බෝට්ටු පැමිණ ඉතිරි වූ විපතට පත් වූවන් වත් ගලවාගන්න විට එවරත් තෝමස් ඔවුන්ගේ සහය ප්‍රතික්ෂේප කලා. දෙවියන් වහන්සේ තමන් සමග නිසා බිය වීමට කරුණක් නොමැති බව ඔවුන්ට කියමින් නිවෙස් අතහැර යන වුන්ගේ දේව භක්තිය ගැන විවේචනය කරන්නට ගත්තා.
වේලාව ගත වුවත් දිගින් දිගටම ගංවතුර ගලද්දී තෝමස් සිටි නිවස අභිබවා ජල කඳ ඉහල නැගුණා. ඉණ තෙක් ජල කඳ පැම්ණි විට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ඔහුව ගලවා ගැනීමට කඹ මුදා හැරියත් එය අල්ලාගෙන යානට ගොඩවන්නට අකමැති වූයේ දෙවියන් කෙරෙහි වූ බලවත් ශ්‍රද්ධාව නිසාමයි.
ඉන්පසු කවුරුවත් තෝමස් ව ගලවාගැනීමට පැම්ණියේ නැහැ. අවසානයේ දී අපේ කථානායකයා ගංවතුරට හසු වී ගිලී මියැදෙනවා. ඔහු දෙවියන්ට භක්තිමත් ව සිටි නිසාම ස්වර්ග රාජ්‍යයට ඇතුලුවන්නට වරම් හිමිවෙනවා.
ස්වර්ගයේ පිලිගැනීම් දොරටුවේ ඉන්නෙ ශාන්ත පීතර තුමා. තෝමස් නෝක්කාඩුවෙන් ඔහුගෙන් අසනවා; "මෙතරම් දෙවියන්ට භක්තිමත්ව නොබිඳන විශ්වාසයෙන් සිටියත් ඇයි උන් වහන්සේ මාව මරණයට පත් කලේ?"
එවිට පීතර තුමා පිලිතුරු දෙනවා. "දෙවියන් වහන්සේ නුඹව බේරා ගන්න දේව දූත කණ්ඩායම් තුනක් එව්වා. බෝට්ටුවක්, නාවික යාත්‍රාවක් සහ හෙලිකොප්ටරයක ඔවුන් පැමිණියත් ඔබ දෙවියන් හඳුනා නොගෙන අන්ධ විශ්වාසයේ එල්බගෙන සිටිමින් ඔවුන්ව ප්‍රතික්ෂේප කලා."
මෙය උපමාවක් වුනත් එයින් අපට ගත හැකි අපූරු පාඩමක් තිබෙනවා.
දෙවියන් කෙරෙහි වූ භක්තිය වැඩි නිසාම තාර්කික බුද්ධියකින් සිතන්නට තෝමස්ට නොහැකි වෙනවා. ඒ නිසාම ඔහුගේ ජීවිතය අවසන් වෙනවා.
මේ සටහනට ප්‍රස්තූතය වූටේ පසුගියදා කළුතර සිදු වූ ඛේදවාචකයයි. දේව භක්තිය කොපමණ තිබුනත් තම ජීවිතය රැක ගැනීම කෙරෙහි ගත යුතු මූලික ක්‍රියාමාර්ග වත් නොගෙන බුද්ධිමත්ව සිතා නොබලා වතාවත් වල නියැලීමට යාමෙන් ජීවිත ගණනාවක් නිකරුණේ විනාශ වුනා. තමන් ආදරය කළවුන් සදහටම ඔවුන්ගෙන් ඈත් වුනා.
සමාජයේ මිනිසුන්ට තිබෙන ප්‍රශ්න වලට සහනය පතා බොහෝ දෙනෙක් දෙවියන් / දෙවිවරු, යෝගා, භාවනා, සුව මෙහෙයන් වෙත යොමු වෙනවා.
මේ ක්‍රම මගින් කුමන හෝ අයුරකින් බොහෝ අයට සහනය උදා වන බව පෙනී යතත් සමහරු න්ගේ ශ්‍රද්ධාව වැඩිකම නිසාම අනවශ්‍ය හා අරුත් සුන් චාරිත්‍ර සහ සම්ප්‍රදායන්ද ඒ ඒ ඇදහීම් වලට එකතු වී ඇති බව මධ්‍යස්ථව සහ තාර්කික බුද්ධියක් සිතා බලන ඕනෑම කෙනෙක්ට පෙනී යන කරුණක්.
පෞද්ගලිකව මම අන්ධ විශ්වාසයට විරුද්ධ නමුත් සමාජයේ තවකෙක්ට හානියක් නොවන තාක් ඒ ගැන සංවාද කිරීමෙන්, අදහස් දැක්වීමෙන් වැලකී සිටිනවා. ( අදාල අය සමග හොඳ හිත පළුදු වී ඔවුන්ගේ සිත් රිදවීමට අකමැති නිසා)
අද සමාජයේ ආර්ථිකමය වාසි නිසාම අදාල ආගම් වල පූජකයන් මෙවැනි අන්ධ විශ්වාස වලට එරෙහි වෙනවා වෙනුවට ඒවා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමෙහි නිරතව සිටින බව පෙනෙනවා. සහනය බලාපොරොත්තු වන අහිංසක මිනිසුන් දුක සේ උපයාගත් මිල මුදල්, ධනය, තම ලෙයින් උපන් දරුවන් ඒ වෙනුවෙන් පූජා කරනවා. මෙය ශෝකජනක තත්වයක්.
අන්ධ විශ්වාස කාලයත් සමග ආගමේ මුල් උගැන්වීම් පවා අභිබවමින් ආගම් තුල මුල්බැසගෙන ඇති නිසා ඒවාට විරුද්ධ වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.
මම කල්පනා කරන ආකාරයට කිසිම කෙනෙක්ට මෙය තේරුම් කර දිය නොහැක්කක්. මන්ද, ආගම ඉතා සංවේදී කරුණක්. සිදුවිය යුත්තේ තමාටම මෙය අවබෝධ වී මෙවැනි විශ්වාස වල හරසුන් බව පසක් වීමයි. එය සෙමින් නමුත් ක්‍රම ක්‍රමයෙන් සිදුවනු පිණිස අප විසින් යෙදිය යුතු මූලික අඩිතාලම, මිනිසුන් අතර තාර්කික බුද්ධියෙන් සිතීමේ හැකියාව වර්ධනය කරවීමයි. සමාජ ජාල මාධ්‍ය සඳහා මහඟු වේදිකාවක්.

No comments:

Post a Comment