Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Wednesday, September 27, 2017

පුඅර්ටො රිකෝ මානුෂීය අර්බුදය

පුඅර්ටො රිකෝ හි මේ වන විට උද්ගතව ඇති මානුෂීය අර්බුද තත්වය ගැන කෙටි සටහන සහ විස්තරාත්මක ඡායාරූප එකතුව.

කුණාටුවෙන් හානියට පත් වූ මාවතක්


කැරිබියන් මුහුදේ දූපත් රාජ්‍යයක් වන මෙහි ජනගහනය මිලියන 3.4ක්. මෙය ඇමෙරිකාවට අයත් දූපත් රාජ්‍යයක් වන අතර එහි ජනතාව නීත්‍යානුකූලව ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියන් වෙනවා.



ඩොලර් බිලියන 70කට අධික ණය අර්බුදයකින් පෙළෙන දූපත් රාජ්‍යයේ ගැටලු උග්‍ර අතට පත් කලේ පසුගිය බ්‍රහස්පතින්දා (සැප්. 20) එරට හරහා ගමන් කල මරියා චණ්ඩ මාරුතයයි.

පුදගලයන් 13 කට මරු කැඳවූ මරියාගේ සැහැසිකම් ඉන් අවසන් වූයේ නෑ.රට පුරා ගොඩනැගිලි, මං මාවත් විශාල ගණනකට අලාභ හානි සිදු කල අතර රාජ්‍යයේ විදුලි සැපයුම් රැහැන් පද්ධති මුලුමනින්ම පාහේ බිඳ හෙලනු ලැබුවා. දින 7කට පසුත් අඳුරේ පවතින පුආර්ටො රිකෝවේ විදුලි සැපයුම මුළුමනින්ම යථා තත්වයට පත් කිරීමට මාස 6ක් වත් ගත වනු ඇති බව වාර්තා වෙනවා. දිවයින පුරාම පස්වරු 7- පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා.
මරියා සුළි කුණාටුවට පෙර හා පසු රාත්‍රී කාලයේ ගන්නා ලද පුඅර්ටො රිකෝවේ චන්ද්‍රිකා ඡායාරූප දෙකක්. 
විදුලි පද්ධතියේ බිඳ වැටීම ගැන අවබෝධයක් මෙයින් ලබා ගත හැක.



රෝහල් වල කටයුතු සිදුවන්නේ විදුලි ජනක යන්ත්‍ර මගින් වන අතර නිවාස වල සිට බෙහෙත් ලබා ගන්නා දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන් වැනි අය විදුලි සැපයුම නොමැති නිසා සහ ශීතකරණ නොමැතිව ඖෂධ හා එන්නත් නරක් වීමෙන් මියැදෙන්නට පටන් ගෙන තිබෙනවා.

රටේ උග්‍ර පානීය ජල හිඟයක් පවතින අතර වැසි ජලය හා කඳුකර පෙදෙස් වල අලුතින් මතු වූ දිය උල්පත් වලින් ජලය භාවිතා කරන්නට එරට වැසියන්ට සිදුව තිබෙනවා.

එරට වැසියන් සතුව තිබුනු ආහාර ද කෙමෙන් අවසන් වන අතර සහන සේවා මගින් ජලය සහ ආහාර බෙදා හැරියත් ග්‍රාමීය ප්‍රදේශ වලට ඒවා ලඟා වීමේ ගැටලු පවතිනවා.

ඉන්ධන සැපයුම බාධාවකින් තොරව සිදු වුනත් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල පැය ගණන් පෝලිම් වල රැඳෙනු දැකිය හැකියි.

සන්නිවේදන සබඳතා බොහෝ දුරට ඇණහිට ඇති අතර දුරකථන සංඥා කුළුණු 1600කින් ක්‍රියාත්මක වන්නෙ 240ක් පමණයි. එරටේ බොහෝ දෙනා එකසත් ජනපදයේ රැකියා වල නිරත වන අතර විපතට පත් තම ඥාතීන් ගැන තොරතුරක් දැන ගත නොහැකිව ඔවුන් ලත වෙනවා.

ඇමෙරිකාවේ යටත් රාජ්‍යයක් ලෙස පවතින පුආර්ටො රිකෝ වැසියන්ට ඇමෙරිකා පුරවැසියන් භුක්ති විඳින අයිතීන් සියල්ල තවමත් ලැබී නෑ. එරටේ ආර්ථික අර්බුදය විසඳීමට සාධනීය කර්තව්‍යයක් එක්සත් ජනපද රජය තවමත් සිදු කර නෑ.

පසුගිය සඳුදා මේ ව්‍යසනය පිලිබඳව හඬ අවදි කල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන අඟහරුවාදා පුඅර්ටො රිකෝවේ සංචාරය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

-මලිත්

No comments:

Post a Comment