Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Friday, April 14, 2017

ISIS ට එල්ල කරන ලද අති දැවැන්ත MOAB බෝම්බ ප්‍රහාරය


GBU-43/B   Massive Ordnance Air Blast (MOAB) හෙවත්  "Mother of All Bombs" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අති විශාල විනාශකාරී බෝම්බය ප්‍රථම වරට යුධ බිමේ භාවිතයට ගනු ලැබුවා. ප්‍රහාරයේ ඉලක්කය වුයේ ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් හි අචින් දිස්ත්රික්කයේ ISIS-K සටන්කාමීන්ගේ උමං මාර්ග ජාලයක්.

අප්‍රේල් 13 බ්‍රහස්පතින්දා එරටේ වේලාවෙන් පස්වරු 7ට එම ප්‍රහාරය දියත් කෙරුණු අතර එය ඇමෙරිකාව සතු විශාලතම න්‍යෂ්ටික නොවන බෝම්බයයි. බෝම්බය ගෙන ගොස් ඇත්තේ Lockheed MC-130 Hercules වර්ගයේ යානාවකින්.


 සුළු අවි ප්‍රහාරයක් නිසා දින කිහිපයකට ඉහත ඇමෙරිකා හමුදාවේ Staff Sgt. Mark De Alencar මිය ගියේද අචින් දිස්ත්රික්කයෙදියි.


ඉරාක යුධ සමයේදී (2003)  මෙම බෝම්බය පළමු වරට අත්හදා බැලුවේ ෆ්ලොරීඩාවේ පිහිටි Eglin ගුවන් හමුදා කඳවුරේ දී. මෙවැනි බෝම්බ 20ක් පමණ නිපදවා ඇති අතර එක් බෝම්බයක් සඳහා වියදම රු. බිලියන 2.5ක්. (රු 2,440,160,000). 2003 වර්ෂයේ සිදු කල ඇත හදා බැලීමේ වීඩියෝව නරඹන්න.

අඩි 30ක් දිග මේ බෝම්බය බරින් ටොන් 10ක්. මෙය චන්ද්‍රිකා මගින් නියමිත ස්ථානයට එල්ල කිරීමටද හැක. බෝම්බය පිපිරුම් ස්ථානයේ සිට හැතැප්ම 1ක් දකවා දුරකට මාරක බලපෑමක් සිදු වේ. කම්පන තරංග ඊට වඩා දුරකට වුව ගමන් කල හැක. බලවත් කම්පන තරංග වල ආධාරයෙන් උමං පද්ධතිය විනාශ කිරීමට ඇමෙරිකාව අරමුණු කල බව පෙනේ.


හිටපු ආරක්ෂක ලේකම් William J Perry පැවසුවේ කිලෝටෝන් 0.011 ක පුපුරන ද්‍රව්‍ය මෙහි අඩංගු බවයි.
සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බෝම්බයක කිලෝටෝන් 10-180 පමණ පුපුරන ද්‍රව්‍ය අඩංගු වේ. ඇමෙරිකාව සතුව පමණක් එවැනි බෝම්බ 7000කට වඩා ඇත.

ඇෆ්ගන් ආරක්ෂක අමාත්යංශය තහවුරු කරේ මේ වන විට ලැබී ඇති ආරංචි මාර්ග අනුව IS සටන්කාමින් 36ක් මියගොස් ඇති බවයි.

ඉලක්කයට ලක් වූ ප්‍රදේශය 2015 සිට IS සටන්කාමීන්ගේ බලකොටුවක් ලෙස පැවතුනා. ආරක්ෂක අංශ අනුමාන කරන්නේ උමං පද්ධතිය තුල සටන්කාමින් 1000ක් වත් සිට ඇති බවයි. VOA ඇෆ්ගනිස්තාන් අඩවියට අනුව අචින් හි ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් ජිවත් නොවූ බවයි.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් Sean Spicer පැවසුවේ ISIS ට එරෙහි සටන අමෙරිකාව සුළු කොට නොතකන බව සහ ඔවුන්ගේ මෙහෙයුම් අවකාශය අඩපණ කිරීමට තවදුරටත් කටයුතු කල යුතු බවයි.
ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරී ප්‍රදේශ

ජනපති ට්‍රම්ප් පැවසුවේ තම හමුදාව පිලිබඳ ආඩම්බරයට පත් වන අතර මෙහෙයුම ඉතා සාර්ථකව අවසන් වූ බවයි. 2015 දී ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී පැවසුවේ "I will bomb the shit out of ISIS" යනුවෙනුයි.

ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා බාර කොමාන්ඩර් John W. Nicholson Jr පැවසුවේ ISIS (K) දිගින් දිගටම පරාජය ලබන නිසා තම ආරක්ෂාව පිණිස බංකර් සහ උමං මාර්ග වල සැඟවෙන සටන්කාමින් පරාජය කිරීමේ බාධා ඉවත් කිරීමේ නිවැරදි යුධ උපක්‍රමය MOAB බවයි.

ඇමෙරිකාවේ ඇෆ්ගන් තානාපති Hamdullah Mohib සඳහන් කරේ තම රට සහ ඇෆ්ගනිස්තානය අධිෂ්ටාන කරගෙන සිටින්නේ මෙම වසර ඇතුලත IS සංවිධානය තම කලාපයෙන් තුරන් කිරීමටයි.

ඇෆ්ගනිස්තාන ජනපති කාර්යාලය නිවේදනය කරේ අචින් දිස්ත්‍රික්කයේ ISIS උමං පද්ධතිය විනාශ කිරීමට මෙම ප්‍රහාර දියත් කල අතර සිවිල් වැසියන්ට හානි සිදුවීම වැළකීමට පියවර ගත් බවයි.
ප්‍රහාරයෙන් සටන් කාමීන්ට සිදු වූ හානිය අධ්‍යනය කරමින් සිටින බවද ඔවුන් සඳහන් කරා.

ඇෆ්ගන් මාධ්‍යවේදී Bilal Sarwary පැවසුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් තමන්ට පැවසු ආකාරයට ප්‍රහාරය වූ අවස්ථාවේ IS සටන්කාමින් 100ක් පමණ සහභාගී වූ රැස්වීමක් පැවැත්වෙමින් තිබී ඇත.

BBC ඇෆ්ගන් සේවයේ Hameed Shuja කියන ආකාරයට තහවුරු නොවූ වාර්තා අනුව ISIS විසින් රඳවාගෙන සිටි සිවිල් වැසියන්ද මෙම උමං පද්ධතිය තුල සිට ඇත.

India Today අඩවියට අනුව කේරල ප්‍රාන්තයෙන් IS සංවිධානයට එක් වූ සටන්කාමින් 20කට වඩා MOAB ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවට විශ්වාස කෙරේ.

-මලිත්

No comments:

Post a Comment